Sunday, 10 January 2021

සුපිරි මාවතක මෙලොවින් එලොවට.....



මාසෙකට තුන් හතර වතාවක් මිනිකනත්තට යන්නෙමි. ඒත් කාලයකට පසු කනත්තට යාමට නොහැකි විය ඒ කවුරුත් නොමැරුණු නිසා නොවේ. හිතේ ඇති බය නිසාය. ඊයේ පෙරේදා නැවතත් කනත්තට ගියේ හැමදාම බයෙන් ජීවත්වීමට බැරිකම නිසාමය. ඉතින් අද කථාව හැදල පොදු සූසාන භුමිය ගැනය.

දැන් කලකට පෙර හැදල පොදු සූසාන භුමිය තනිකර වණ ලැහැබකි. නොගිහින් බැරි කමට මරණෙකට යනවා විනා ඒ පැත්ත බලන්ඩත් අජුවය. තමන්ගේ එකෙක් මැරුණාම එයාව ගිහින් දැම්මේ මේ අපායට නේද කියා හිත සනසා ගන්නත් බැරිය. අනුසාසනා ගිහි කථා ආදියෙන් සුගතියක ඉපදීමටත් නිවන් දැකීමටත් ප්‍රාර්ථනා කළත් මැරුණ ගමන් ගිහින් දාන්නේ අපායකටය.

 වරින් වර පවත්වන ශ්‍රමදාන මගින් පමණක් නොව ප්‍රෙද්ශයේ සමිති සමාගම් වලට කොටස් වශයෙන් බෙදා දී කනත්ත නඩත්තු කිරීමට ගත් උත්සාහයන්ට අසාර්ථක වූ බව මතකය. ඒ එදාය



 අද කනත්ත දැක්කහම මැරෙණ එකත් වාසනාවක් බව සිතේ. නවීන උද්‍යාන සංකල්ප උපයෝගි කර ගනිමින් ඉතා අලංකාර ලෙස කනත්ත නඩත්තු කර ඇත.මෙහි ප්‍රණාමය වත්තල ප්‍රාදේශීය සභාවට හිමි විය යුතුය. මේ දේශපාලකයන්ට කඩේ යාමක් නොවේ.හොද දේකට යහපත් දෙයකට හද පත්ලෙන්ම ප්‍රශංසා කිරීමට හිතේ ඇති මනුෂ්‍යකම ඉස්මතු වීමය. එනිසාම වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේ සිට මෙම සත්කාර්යයට උරදෙන කම්කරු මහතා දක්වා අපේ ප්‍රණාමය පුදකළ යුතුය. 

ප්‍රණාමය පල කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් නොනැවැතී කනත්ත ලස්සන කිරීමට පමණක් නොව ප්‍රෙද්ශවාසි සැමටම විශේෂයෙන් දුප්පත් ජනතාවට සෙතක් සැලසෙන එමෙන්ම ප්‍රාදේශීය සභාවට යම් ආදායමක්ද ලැබෙන යෝජනාවක් මැරෙණ මිසිසෙකු වශයෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම මෙන්ම වත්තල ප්‍රෙද්ශයේද විවිධ ආදායම් මට්ටමේ මිනිසුන් ජීවත් වෙති. විශාල මන්දිර මෙන්ම ඉතාකුඩා පැල්පත දක්වාම නිවාස වත්තලත් ඇත. නිවසේ කෙනෙකු මරණයට පත්වූ විට තම නිවසට ගෙනවිත් එම තැනැත්තාගේ අවසන් කටයුතු කිරීම බොහෝ අයට දුෂ්කර කටයුත්තක් වී ඇත. ගංවතුර වැනි ස්වභාවික ආපදා අවස්ථාවන්වලදීද, මෙවැනි වසංගත තත්වයක් හමුවේද මෙය ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත.මෙවැනි අවස්ථාවල බොහෝ විට පිහිට පතන්නට සිදුව ඇත්තේ මල්ශාලා කරුවන්ගේ පාලර් වලය. දැන් දැන් මෙය අවමංගල්‍ය උත්සව විලාසිතාවක් බවටද පත්ව ඇත. එහෙත් මල්ශාලා වලට මේ සදහා අධික මුදලක් ගෙවිය යුතුය.එසේ වුවත් වත්තල ප්‍රෙද්ශයේ පවත්නා පාලර්වල තිබේන්නේද ඉතාමත් සීමිත ඉඩ පහසුකම්ය. රාත්‍රි 10 න් පසු පාලර් විවෘතව තබන්නේද නැත. දුර බැහැර සිට එන ඉතා කාර්යය බහුල ඥාති මිත්‍රාදින්ට මෙය ඉමහත් බාධාවකි.මෙහි සදහන් නොකලත් තවත් නොයෙකුත් දුෂ්කරතාවන්ට අවමංගල අවස්ථාවකදී ජනතාවට මුහුණ දීමට සිදුවේ.

 මේ සදහා ඉතා ප්‍රශස්ත මෙන්ම චිත්තාකරශණිය විසදුමක් දෙසට බලධාරින්ගේ නෙත් යොමු කරවීමට කැමැත්තෙමි. 

සූසාන භූමිවල කොටසක් වෙන්කර අවමංගල උත්සව හතරක් පහක් කළ හැකි  චිත්තාකර්ෂණීය ගොඩනැගිල්ලක් ඉදිකළ යුතුය.  මේ සදහා සුසාන භුමිය මැදින් ඇති පාරත් කනත්ත පාරත් අතර කොටස යොදා ගත හැක. මෙම ගොඩනැගිල්ලට වෙන් කරන භුමියද දැනට සූසාන භුමිය පවත්වාගෙන යන ආකාරයටම සිත්ගන්නා උද්‍යානාලංකාරයෙන් නිමකර  නිරතුරුවම නඩත්තු කළ යුතුය. අවමංගල උත්සව සඳහා සාධාරණ මුදලක් අයකළ යුතු අතර දුප්පතුන්සඳහා සහන පැකේජයක් ක්‍රියාත්මක කළ යුතුය.  මෙහි පාලනය අදාල පළාත්පාලන අධිකාරියට පැවරිය යුතුය.

ප්‍රතිලාභ

  1.  අවම වියදමකින් අවමංගල කටයුතු කළ හැකි වීම.
  2.  පරිසරය දූෂණය නොවීම.
  3.  අවමංගල උත්සව තරග කාරි බවින් තොරවීම.
  4.  රැකියා අවස්ථා කීපයක් නිර්මාණය වීම.
  5.  සූසාන භූමිය චිත්තාකර්ශනීය ස්ථානයක් බවට පත්වීම.
  6. ප්‍රාදේශිය පාලන අධිකාරියට සැළකිය යුතු ආදායම් මාර්ගයක් වීම
  7. මෙවැන්නක් සිදුකළ එකම ප්‍රදේශය වත්තල බවට වාර්තාගත වීම
  8. ප්‍රාදේශීය සභාවේ වත්මන් දේශපාලන අධිකාරිට ඉමහත් ජනාදරයට පත්වීම

 බොහෝ දුරට මෙයද සිහිනයක් විය හැක. සිහිනෙන් මළ පෙරේතයෝත් දෙවියෝත් දකින්නට ලැබෙත.එහෙත් හෙට දින සිහිනෙන් පමණක් නොව සැබැහින්ද දෙවියෝ දක්න්නට ලැබෙත්වා. දේවත්වය ලබන්නේද මිනිසුන්ය.මිනිසුන් දේවත්වය ලබන්නේ අන් අයගේ සිහින සැබෑ කර දීමට කටයුතු කිරීම තුළිනි. ලංකාවේ මිනිසුන් මහසෙන් දෙවියන් අදහන්නේද එබැවිනි. වත්තලිනුත් මහසෙන්ලා බිහිවේවා ! ආයුබෝවන් නැවත හමුවෙමි. වැරදි ඇතොත් සමාවන්න 


ඉහත යෝජනාව ක්‍රියාත්මක වන්නේනම් සූසාන භුමියේ මෙම කොටසින් ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැක.