Saturday, 21 November 2020

හුදකලාව වත්තල අපිට අවනඩුවක්ද

හුදකලාව වත්තල අපිට අවනඩුවක්ද      

    

දින ගණනක ඇදිරිනීතිය යටත්කර තිබූ වත්තල හුදකලා කර දැනට සති කීපයක් ගතව ඇත. වත්තල හුදකලාවෙන් මිදෙන දිනය පෙනෙන තෙක් මානයක නැත. වත්තල පළමු කොවිඩ් මරණය 2020.11.21 දින වාර්තා වූ බවට කටකථාවක්වද අසන්නට ලැබුණි. තවද වත්තල නොයෙක් ප්‍රදේශ වලින් ආසධිතයන් හමුවීම තව දුරටත් සිදු වෙමින් පවතී.


හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම් ලාභින්ට සහ සුපුරුදු රැකියාවල යෙදීමට අපහසු අයට රුපියල් 5000 දීමනාව ලබා දී ඇතත් එය කොතරම් දුරට ජීවන මාර්ගය සරිකර ගැනීමට ප්‍රමාණවත්ද  


නොයෙකුත් වෙළද වාහන ප්‍රදේශය පුරා සැරිසැරුවත් අතමිට නොසරු බව නිසා ඒවායින් ප්‍රෙයා්ජනයක් නැත. වත්තල ප්‍රදේශයෙන් විශාල කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තා වීම නිසා වෙළෙන්දන්ගෙන් බඩු මිලදී ගැනීමටද ඇතැම් අයමැලිකමක් දක්වයි.බෝ නොවන රෝග වලින් පෙළෙන බොහෝ අයට නිසි වෛද්‍යප්‍රතිකාර නැත.මේ තත්වය මත හෙට අනිද්දා මිනිසුන් මිය යන්නේ කොවිඩ් නිසා නොව වෙනත් හේතුන් මතය.


අද සටහන කොවිඩ් නිසා ඇතිවන බලපෑම ගැන නොවේ.මෙම කොවිඩ් බලපෑමෙන් අප නිදහස් නොවීම දිනෙන් දින කල් යන්නේ කුමක් නිසාද යන කාරණයයි. වත්තල මිනිස්සුන්ගෙන් 90% ක පමණ ප්‍රමාණයක් නිරෝධායන නීති පිළිපදිමින් තමා සහ තමන්ගේ අය ආසාධිතයෙක්  වීමට ඇති ඉඩ කඩ වලක්වා ගනිමින් ජීවත්වේ.10% ක පමණ මිනිසුන් පිරිසක් ගාල කඩාගත් හරකුන් ලෙස ජීවත් වේ. 


මොවුන් බොහෝ විට මුවවැස්මක් පලදින්නේ පොලිසියට ඕනෑ නිසාය. කිසිදු අවශ්‍යතාවක් නොමැතිව පාරක් පාරක් ගානේ  සැරසරයි. තමන්තට ඕනෑම තැනක ගිය හැකි බව කියයි. තමන් ගිය ගමන් ගැන කියමින් පංපෝරිද ගසයි. පොලිසියේ ඉන්නේ ඇතැම් අයගේ බාප්පලාය. ඇතැම් විට තමන්  සතු කුමන හෝ වාහනයකින් බොහෝ විට මොටර් සයිකලයකින් හෝ ත්‍රි විලයකින් තැනින්තැන සැරි සරන්නේ පොරවල් වීමටය.ඔවුන් පොරවල් බව අනිත් අයට පෙන්වීමටය. මොවුන්ගේ අසමත්ජාති ක්‍රියාවන්ගැන ප්‍රදේශයේ ජිවත්වන වැදගත් මිනිසුන් නොවිමසන්නේ අහක යන පඩංගු ණයි රෙද්ද අස්සේ දාගන්ඩ අකැමැති නිසාය. එහෙත් මුන් කෙළවන්නේ අහිංසක මිනිස්සුන්ටය. නිරෝධායන නීති යටතේ මොවුන් මිනි මැරීමට තැත් කරන්න් නොවේද?


වත්තලින් හොර පාරවල් ඔස්සේ මහබාගේ පොලිස් වසමට පිවිසිය හැක. බොහෝ අසමත්ජාතින් මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ මත්පැන්සැල්  වලින් මත්පැන් ගෙනවිත් රාත්‍රි කාලයට තැන් තැන් වල පානය කරයි. ඔව්න්ගේ භාෂාවෙන් කියනවානම් ෂෙට් වේ.


මෙම සටහන පොලිසියේ අඩුපාඩු පෙන්වා දීමක් නොවේ. පොලිසියේ ඉන්නේද මිනිස්සුය. තම දරුවන් ලගට දරු පවුල් ලගට එතුමන්ලාද යා යුතුය.මෙම අසමත්ජාතින්ගේ ක්‍රියා වලට අහිංසක පොලිස් නිලධාරින් පළි නැත. ගම ආරක්ෂා කර ගත යුත්තේ ගමේ එවුන්ය.මොවුන්ට මෙය නොතේරෙන්නේ කුමක් හෝ අඩුපාඩුවක් නිසා විය හැක. එහෙත්ඊට අනුකම්පා  කර කර ඉන්ඩ කාලයක් නැත. මොවුන්ගේ වගකීම මොවුන්ගේ යුතුකම මොවුන් තේරුම් නොගන්නේ නම් එම අමාරුව කියන්නේ කාටද?


වගේ වගක් නැතිව කටයුතු කරන නෝනා මහත්වරු පිරිසක්ද වත්තල ඇත. කුණු ට්‍රැක්ටරයට කුණු දීමට පොරකන මොවුන් එළවළු ලොරියක් ආවත්, පළතුරු ලොරියක් ආවත්, මස් ලොරියක් ආවත් ඒවටා රොක්වෙති. දුරස්ථභාවය යනු කුමක්ද කියාවත් නොසලකති. සමහරුන්ගේ නයිටිය විනිවිද පේන එකනම් ඉවසිය හැකිය. එහෙත් මුව වැස්මක් නොමැති කම ඉවසිය නොහැක. ඒ ඔවුන් සමාජයට කොඩිවිණ වන බැවිනි. 


චූන්පාන්ද තවත් මළ මරාලයකි. පසුගිය දිනක වනවාසල ප්‍රදේශයෙන් චූන් පාන් ආසාධිතයෙකු ගැන වාර්තා වූ බවට පුවතක් දක්නට ලැබුණි. කෑම බෑගයට දමා දෙන්නේත්, මුදල් ගන්නේත් ඉතුරු සල්ලි දෙන්නේත් එකම පුද්ගලයෙකි. බොහෝ විට ඔවුන් අත් වැසුම් පළදී. මුදල් ප්‍රබල විසබීජ වාහකයෙක් වන අතර අත් වැසුම්වල වෛරස් තැන්පත්වීමේ හැකියාව අධිකය.


ඇතැම් වෙළද මහත්තුරුද නිරෝධායන නීති විවිධ ආකාර වලින් උල්ලංගණය කරන බවද දක්නට ලැබුණි. විශේෂයෙන් මාක්ස් පැළදීම හරියාකාරව සිදුවන්නේ නැත.

වත්තල ඇලකන්දපල්ලියවත්ත කැළණි ගංතෙර හරහා ඉදිකර ඇති පාලමෙන්  කොළඹ මට්ටක්කුලිය සහ මෝදර සමග යා වෙයි. දැනට කොළඹ පවතින දැඩි අවධානම් තත්වය මත වත්තල තවදුරටත් හුදකලා කර තබා ගැනීමට සිදුවනු ඇතැයි සිතමි. එය එසේද විය යුතුය. එහෙත් එයින් ඇතිවන ප්‍රතිඵලයන්ටද පිළියම් අවශ්‍යව ඇත. දැනටද හොරුන්ගේ අවධානයට ලක්ව ඇති වත්තල ඉදිරියේදි හොරුන්ගේ පාරාදීසයක් වීමටද ඉඩ ඇත. 


මෙහි සදහන් කරුණු වත්තල ගැන වුවත් ඒවා මුළු සිරිලකටම පොදු දේවල්ය. වත්තල මෙන්ම ශ්‍රී ලංකාවද අපේ මාතෘ භූමියයි. අපගේ මාතෘ භූමිය මෙම වසංගතයෙන් ඉක්මනින් මිදේවායි පතන්නේ දෙවි දේවතාවන්ට කන්නලව් කර නොව මෙම වසංගත තත්වය ගැන තීන්දු තීරණ ගන්නා නිසි බලධාරින්ට නිසි වේලාවට නිසි තීන්දු තීරණ ගැනීමට ශක්තිය ධෛර්යය සහ ඥාණය පහළ වේවායි පැතීමෙනි. නැවත හමුවෙන තුරු ආයුබෝවන්....




No comments:

Post a Comment