Thursday, 5 December 2024

වත්තල සමාජ සේවා මංගල්‍යය


අද වත්තල විත්ති සටහන වත්තල පැත්තෙ සිද්ධවෙන උදාර සත්කාරයක් ගැන. ලංකාවේ හැම තැනම මංගල්‍ය උත්සව පැවැත්වෙනව. ඒත් මේ මංගල්‍යය පවත්වන්නෙ වත්තල හැදල කෙරවලපිටියෙ විතරයි. මේකට කියන්නේ සමාජ සේවා මංගල්‍ය කියල.අවුරුදු විස්සක් පුරාවට මේ සත්කාරයට උර දීපු අපුරු මින්ස්සු කොටසක් ඉන්නව. ඒ අයගෙ සංවිධානයට කියන්නේ පොකුණ ජනතා එකමුතුව කියල. මේ මංගල්‍ය පැවැත්වෙන්නෙ වත්තල හැදල කෙරවලපිටියෙ විද්‍යාලෝක මහා විද්‍යාලයේ. දිනය දෙසරම්බර් අට පෙරවරු 08.00 සිට පස්වරු 03.30 දක්වා ...

මෙතනදි ඔබට ලබාගන්න පුළුවන් දේවල් කිව්වොත් පුදුම හිතෙයි.ඒ වගේම මේ කිසිදු සේවාවක් සදහා කිසිදු මුදලක් අයකරන්නෙ නැහැ.අපි බලමු මොනවද ඔබට ලැබෙන සේවාවන් කියල..

     ලේ දන්දීම
         ඇස් කණ්නාඩි බෙදා දීම
         බටහිර වෛද්‍ය සායනය
         දේශීය වෛද්‍ය සායනය
         විකලාංග සායනය
         පිළිකා කලින් හදුනා ගැනීමේ පරික්ෂාව
         දන්ත සායනය
         චීනකටු චිකිත්සාව
         මනෝ විද්‍යා චිකිත්සා
         භෞත චිකිත්සා/පිෂියෝ  තෙරපි
         රුධිරගත සීනි පරික්ෂාව
         කොරස්ටරෝල් පරික්ෂාව
         හදහන් බැලීම
         වාස්තු විශේෂඥ සේවාව
         නාඩි බලා ප්‍රතිකාර කිරීම
         අත්ල රේඛ්‍ය පරික්ෂාව
         දරුවන් සදහා විවිධ ක්‍රීඩා  සහ වෙනත්දේ



වත්තල මිනිස්සු හරි විවාතයි.  කාල බීල  තමන්ගේ වැඩක් බලාගන්න ගමන් අනිත් අයටත් හැකි තරම් උදව් කරන මිනිස්සු. මේ වගේ අයගෙ ලේ හරි පිරිසිදුයි. ඔබේ මව්පියන්ට, ඔබ ජීවත්වන ප්‍රතිරූප දේශයට උපහාරයක් වෙන්නම එක්ක මේ සමාජ සේවා මංගල්‍යට ගිහිල්ල ලේ බිදක් දන් දෙන්ඩත් අමතක කරන්න එපා. ඒ වගේම අමතක කරන්න එපා මෙතැන්ට ගියහම ඔබේ හදවතේ සුපිපෙන ලස්සන මලක් මේක සංවිධානය කරන අපූරු මිනිස්සුන්ගේ සුරතට දීල සුබ පතන්නටත්.

ඒත් එක්කම අපි ආරාධනා කරනව වත්තල විත්ති වලින් අප ලියපු සටහන් කොච්චර යථාර්ථයක් බවට පත්වෙලාද කියල බලන්න මෙම සටහනේ

https://draft.blogger.com/blog/post/edit/8524712690337020503/4277465470468181786 මෙන්න මේ සටහන බලන්නත්.

ඉතින් වත්තල ගැන තවත් තොරතුරු අරගෙන එනකන් ආයුබෝවන්.


Sunday, 10 January 2021

සුපිරි මාවතක මෙලොවින් එලොවට.....



මාසෙකට තුන් හතර වතාවක් මිනිකනත්තට යන්නෙමි. ඒත් කාලයකට පසු කනත්තට යාමට නොහැකි විය ඒ කවුරුත් නොමැරුණු නිසා නොවේ. හිතේ ඇති බය නිසාය. ඊයේ පෙරේදා නැවතත් කනත්තට ගියේ හැමදාම බයෙන් ජීවත්වීමට බැරිකම නිසාමය. ඉතින් අද කථාව හැදල පොදු සූසාන භුමිය ගැනය.

දැන් කලකට පෙර හැදල පොදු සූසාන භුමිය තනිකර වණ ලැහැබකි. නොගිහින් බැරි කමට මරණෙකට යනවා විනා ඒ පැත්ත බලන්ඩත් අජුවය. තමන්ගේ එකෙක් මැරුණාම එයාව ගිහින් දැම්මේ මේ අපායට නේද කියා හිත සනසා ගන්නත් බැරිය. අනුසාසනා ගිහි කථා ආදියෙන් සුගතියක ඉපදීමටත් නිවන් දැකීමටත් ප්‍රාර්ථනා කළත් මැරුණ ගමන් ගිහින් දාන්නේ අපායකටය.

 වරින් වර පවත්වන ශ්‍රමදාන මගින් පමණක් නොව ප්‍රෙද්ශයේ සමිති සමාගම් වලට කොටස් වශයෙන් බෙදා දී කනත්ත නඩත්තු කිරීමට ගත් උත්සාහයන්ට අසාර්ථක වූ බව මතකය. ඒ එදාය



 අද කනත්ත දැක්කහම මැරෙණ එකත් වාසනාවක් බව සිතේ. නවීන උද්‍යාන සංකල්ප උපයෝගි කර ගනිමින් ඉතා අලංකාර ලෙස කනත්ත නඩත්තු කර ඇත.මෙහි ප්‍රණාමය වත්තල ප්‍රාදේශීය සභාවට හිමි විය යුතුය. මේ දේශපාලකයන්ට කඩේ යාමක් නොවේ.හොද දේකට යහපත් දෙයකට හද පත්ලෙන්ම ප්‍රශංසා කිරීමට හිතේ ඇති මනුෂ්‍යකම ඉස්මතු වීමය. එනිසාම වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේ සිට මෙම සත්කාර්යයට උරදෙන කම්කරු මහතා දක්වා අපේ ප්‍රණාමය පුදකළ යුතුය. 

ප්‍රණාමය පල කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් නොනැවැතී කනත්ත ලස්සන කිරීමට පමණක් නොව ප්‍රෙද්ශවාසි සැමටම විශේෂයෙන් දුප්පත් ජනතාවට සෙතක් සැලසෙන එමෙන්ම ප්‍රාදේශීය සභාවට යම් ආදායමක්ද ලැබෙන යෝජනාවක් මැරෙණ මිසිසෙකු වශයෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම මෙන්ම වත්තල ප්‍රෙද්ශයේද විවිධ ආදායම් මට්ටමේ මිනිසුන් ජීවත් වෙති. විශාල මන්දිර මෙන්ම ඉතාකුඩා පැල්පත දක්වාම නිවාස වත්තලත් ඇත. නිවසේ කෙනෙකු මරණයට පත්වූ විට තම නිවසට ගෙනවිත් එම තැනැත්තාගේ අවසන් කටයුතු කිරීම බොහෝ අයට දුෂ්කර කටයුත්තක් වී ඇත. ගංවතුර වැනි ස්වභාවික ආපදා අවස්ථාවන්වලදීද, මෙවැනි වසංගත තත්වයක් හමුවේද මෙය ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත.මෙවැනි අවස්ථාවල බොහෝ විට පිහිට පතන්නට සිදුව ඇත්තේ මල්ශාලා කරුවන්ගේ පාලර් වලය. දැන් දැන් මෙය අවමංගල්‍ය උත්සව විලාසිතාවක් බවටද පත්ව ඇත. එහෙත් මල්ශාලා වලට මේ සදහා අධික මුදලක් ගෙවිය යුතුය.එසේ වුවත් වත්තල ප්‍රෙද්ශයේ පවත්නා පාලර්වල තිබේන්නේද ඉතාමත් සීමිත ඉඩ පහසුකම්ය. රාත්‍රි 10 න් පසු පාලර් විවෘතව තබන්නේද නැත. දුර බැහැර සිට එන ඉතා කාර්යය බහුල ඥාති මිත්‍රාදින්ට මෙය ඉමහත් බාධාවකි.මෙහි සදහන් නොකලත් තවත් නොයෙකුත් දුෂ්කරතාවන්ට අවමංගල අවස්ථාවකදී ජනතාවට මුහුණ දීමට සිදුවේ.

 මේ සදහා ඉතා ප්‍රශස්ත මෙන්ම චිත්තාකරශණිය විසදුමක් දෙසට බලධාරින්ගේ නෙත් යොමු කරවීමට කැමැත්තෙමි. 

සූසාන භූමිවල කොටසක් වෙන්කර අවමංගල උත්සව හතරක් පහක් කළ හැකි  චිත්තාකර්ෂණීය ගොඩනැගිල්ලක් ඉදිකළ යුතුය.  මේ සදහා සුසාන භුමිය මැදින් ඇති පාරත් කනත්ත පාරත් අතර කොටස යොදා ගත හැක. මෙම ගොඩනැගිල්ලට වෙන් කරන භුමියද දැනට සූසාන භුමිය පවත්වාගෙන යන ආකාරයටම සිත්ගන්නා උද්‍යානාලංකාරයෙන් නිමකර  නිරතුරුවම නඩත්තු කළ යුතුය. අවමංගල උත්සව සඳහා සාධාරණ මුදලක් අයකළ යුතු අතර දුප්පතුන්සඳහා සහන පැකේජයක් ක්‍රියාත්මක කළ යුතුය.  මෙහි පාලනය අදාල පළාත්පාලන අධිකාරියට පැවරිය යුතුය.

ප්‍රතිලාභ

  1.  අවම වියදමකින් අවමංගල කටයුතු කළ හැකි වීම.
  2.  පරිසරය දූෂණය නොවීම.
  3.  අවමංගල උත්සව තරග කාරි බවින් තොරවීම.
  4.  රැකියා අවස්ථා කීපයක් නිර්මාණය වීම.
  5.  සූසාන භූමිය චිත්තාකර්ශනීය ස්ථානයක් බවට පත්වීම.
  6. ප්‍රාදේශිය පාලන අධිකාරියට සැළකිය යුතු ආදායම් මාර්ගයක් වීම
  7. මෙවැන්නක් සිදුකළ එකම ප්‍රදේශය වත්තල බවට වාර්තාගත වීම
  8. ප්‍රාදේශීය සභාවේ වත්මන් දේශපාලන අධිකාරිට ඉමහත් ජනාදරයට පත්වීම

 බොහෝ දුරට මෙයද සිහිනයක් විය හැක. සිහිනෙන් මළ පෙරේතයෝත් දෙවියෝත් දකින්නට ලැබෙත.එහෙත් හෙට දින සිහිනෙන් පමණක් නොව සැබැහින්ද දෙවියෝ දක්න්නට ලැබෙත්වා. දේවත්වය ලබන්නේද මිනිසුන්ය.මිනිසුන් දේවත්වය ලබන්නේ අන් අයගේ සිහින සැබෑ කර දීමට කටයුතු කිරීම තුළිනි. ලංකාවේ මිනිසුන් මහසෙන් දෙවියන් අදහන්නේද එබැවිනි. වත්තලිනුත් මහසෙන්ලා බිහිවේවා ! ආයුබෝවන් නැවත හමුවෙමි. වැරදි ඇතොත් සමාවන්න 


ඉහත යෝජනාව ක්‍රියාත්මක වන්නේනම් සූසාන භුමියේ මෙම කොටසින් ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැක.

Thursday, 3 December 2020

තබමු තිත. වත්තල හුදකලාවට.......


 තබමු තිත. වත්තල හුදකලාවට.......

වත්තල ලංකාවේ ඉතාමත් සුන්දර ප්‍රදේශයකි. මෙම සුන්දර දේශයේ වසන මිනිසුන් කෙතරම් දුරට සුන්දර වන්නේද යන්න විමසා බැලිය යුත්තකි මිනිසාගේ වැදගත්කම තිරණය වන්නේ ඔහුගේ වත්පොහොසත් කමින්වත්, ජීවත් වන නිවස ලොකද පුංචිද යන කාරණය මතවත්, දැන උගත්කම මතවත්, ඔවුන් කරන රැකියාව මතවත් ජාතිය කුලය ආගම වංශය මතවත්, ගමන් කරන වාහනය මතවත් නොව ඔහු තුළ මනුෂ්‍යෙයක් ජීවත් වන්නේද යන කාරණය මතය. කිසියම් ගමක් සුන්දර වන්නේත්, අපායක් වන්නේත් එහි ජීවත්වන් මිනිසුන්ගේ හැසිරීම මතය. කවුරු කොහොම හිටියත් අද කොවිඩ් සතුරා වත්තල   ප්‍රදේශයේ පළමු පුරවැසියා බවට පත්වෙමින් අන් සියල්ල අභිභවා ගොස් ඇත. එනිසාම වත්තල දිගු කාලයක් හුදකලා බවට පත්තකර ඇත.

බලධාරින්ට අනුව වත්තල හුදකලාව ඉවත්නොකරන්නේ වත්තල තවමත් එයට සුදුසුකම් ලබා නැති නිසාය. වත්තල ඉතා සුළු පිරිසක් අමනුෂ්‍යන් ලෙස ජීවත්වේ. අනිත්උන්ට හෙණ ගැහැව්වත් උන්ට කාරියක් නැත. ඔවුන් වත්තල පුරා කිසිදු වගේ වගක් නැතිව සැරිසරන්නේ අත්‍යවශ්‍ය කාරණාවකට නොව පොරවල් විමටය. නිකම්ම නිකම් පොරවල් නොව අමර පොරවල් වීමටය. උන්ට අනුව පොලිසිවල ඉන්නේ උන්ගේ මහ එවුන්ය.

වගකීමක් නැතිව හැසිරෙන ඇතැම් වැදගත් යයි කියා ගන්නා මිනිස්සුද ඇත. ඔවුන්ගේ වැදගත් කම් බලපුළුන්කාර කම් කොවිඩි සතුරාට වලංගු නැත. මේ අය කරන්නේත් මුළු සමාජයම අනතුරට පත්කිරීමකි

පොලිසිවල ඉන්නේත් මිනිස්සුය. නිකම්ම නිකම් මිනිසුන් නොව තම දරුපවුල් රකින ,තමන්ට ලැබෙන පුංචි ආදායමින් ජීවිතය ගැට ගසා ගන්නා නොයෙකුත්දුක්ඛ දොමනස්සයන්ට ලක්වු අහිංසක මිනිස්සුය.පොලිසියේද අමර පොරවල් නැත්තේ නොවේ එය වෙනම කාරණාවකි. වසංගතයක් පවතින අවස්ථාවක මිනිසුන් නිරෝධායන නීති රකිමින් නිවස්වලට වී සිටින්නේද යන්න සොයා බැලීමට පොලිසියට හැකියාවක් නැත. පොලිසිටය ඕනැ නිසා නිරෝධායන නීති රැකිය යුතු නැත. එය තමන්ගේ ආරක්ෂාවට නොව පොලිසියේ උවමනාවට හෙල්මට් දානවා වැනි වැඩකි.

නිරෝධායන නීති රැකිය යුත්තේ තමාගේත් අන් අයගේත් ආරක්ෂාවටය. එය තමාගේ වැදගත්කම මත සිදුවන්නකි. වැදගත්කම යනු තමා සමාජයේ ජීවත්වන ආකාරයයි. නොවැදගත් ලෙස හැසිරී තමන්ට පමණක් නොව තම අසල්වාසින්ටත් කෙලවාගෙන හුදකලාවට මැසිවිලි නගන මිනිස්සුත් නැත්තේ නොවේ.

කොවිඩ් සතුරා ජයගැනීමට, හුදකලා බැවින් මිදීමට, අපි ඉදිරි දින කීපයවත් නිරෝධායන නීති රකිමු. අද සටහන නිමයි. නැවත හමුවෙන තෙක් ආයු බෝ වේවා ආවඩා !



Monday, 23 November 2020

වත්තල පැත්තේ ආගමික ස්ථානයකත් කොවිඩ් ආසාධිතයන් සිටියාද?

 වත්තල පැත්තේ ආගමික  ස්ථානයකත් කොවිඩ් ආසාධිතයන්  සිටියාද?

    

වත්තල මාබෝලේ ආගමික ස්ථානයක වාර්ෂිකව පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගි වු බොහෝ දෙනෙකු නිරෝධානයට ලක්කර ඇතිබව දැනගන්නට ලැබී ඇත. මෙම ආගමික උත්සවයට සහභාගි වු ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් 19 ආසාධනය වීව මනිසා මෙම පියවර ගෙන තිබෙන බවත් ඉදිරියේදි නිරෝධායනයට ලක්විය හැකි පුද්ගලයින් සහ ආසාධිතයන් තව දුරටත් වාර්තා විය හැති බවත් ප්‍රදේශවාසින්  විසින් පවසයි.



කොවිඩ් ආසාධිතයන් වාර්තාවන ස්ථාන ගැන ජනතාව දැනුවත් විය යුතුද?

 

කොවිඩ් ආසාධිතයන්  වාර්තාවන ස්ථාන ගැන ජනතාව දැනුවත් විය යුතුද?

ලංකාවේ අවධානම් කලාප

    කොවිඩ් 19 ආසාධිතයන් වාර්තාවන පාර, විථිය, ගම ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ.ඒහෙත් දැන් බොහෝ විට ජනතාවට තොරතුරු දැන ගැනීමට ලැබෙන්නේ අවිධිමත් සංනිවේදන මාර්ගයෙනි. කටකථා, ඕපාදූප ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, ඇත්තෙන්ම කට කථා සහ ඕපාදූප ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් බව නොකියාම  බැරිය.අසවල් ස්ථානයේ කොවිඩ් ආසාධිතයෙන් සිටියාය යන්න දැනගැනීම තුළ ඒ ප්‍රදේශයට නොයා සිටීම, හෝ අඩුම වශයෙන් ආරක්ෂක පියවරයන්වත් අනුගමනය කිරීමට ජනතාව පෙළඹෙනු ඇත. එසේ නොමැති විට ජනතාව බිය සැක නොමැතිව ඒ ප්‍රදේශ තුළට යාම තුලින් ඔවුන්ද ආසාධිතයන් බවට පත්විය හැක


කටකථා ඕපාදූප මෙන්ම විවිධ සංනිවේදන මාධ්‍යයන් ඔස්සේ බොහෝ විට අසන්නට ලැබෙන්නේ යල් පැනගිය තොරතුරය. ජනතාව එම තොරතුරු දැන ගන්නා විට පෙරහැර ගොස් හමාරය. දැන් කවුරුන්හරි විමසන්නේ හුදකලා කර තිබෙන විට එසේ වන්නේ කෙසේද යන්නයි.


    අපේ රටේ ජනතාවගෙන් සියයට දහයක් පමණ කිසිදු නීතියකට යටත් නොවන බව බොහේ අවස්ථාවලදී දක්නට ලැබෙන කාරණාවකි.එහෙව් රටේ හුදකලා කළා කියා නිවසටම වී සිටින ජනතාවක් සිටිය හැකිද? ඉතා සුළු පිරිසක් වගේ වගක් නැතිව ගාල කඩාගත් හරකුන් ලෙස හැසිරීම නිසා වත්තල අපට හුදකලාවෙන් නිදහස්වීමට තව බොහෝ කාලයක් ගතවනු ඇත. මෙම අසමත්ජාතිකයන් මර්ධනය නොකොළොත් වත්තල මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ කොවිඩ් ආසාධනය වීමෙන් නොව වෙනත් ‍රෝගාභාධ වලිනි. නැතහොත් බඩ ගින්නෙනි


අදට නවතිමි. යලි හමුවෙමු. ඔබ කොවිඩ් ආසාධිතයෙක් නොවේවා යන්න එකම පැතුමයි


Saturday, 21 November 2020

හුදකලාව වත්තල අපිට අවනඩුවක්ද

හුදකලාව වත්තල අපිට අවනඩුවක්ද      

    

දින ගණනක ඇදිරිනීතිය යටත්කර තිබූ වත්තල හුදකලා කර දැනට සති කීපයක් ගතව ඇත. වත්තල හුදකලාවෙන් මිදෙන දිනය පෙනෙන තෙක් මානයක නැත. වත්තල පළමු කොවිඩ් මරණය 2020.11.21 දින වාර්තා වූ බවට කටකථාවක්වද අසන්නට ලැබුණි. තවද වත්තල නොයෙක් ප්‍රදේශ වලින් ආසධිතයන් හමුවීම තව දුරටත් සිදු වෙමින් පවතී.


හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම් ලාභින්ට සහ සුපුරුදු රැකියාවල යෙදීමට අපහසු අයට රුපියල් 5000 දීමනාව ලබා දී ඇතත් එය කොතරම් දුරට ජීවන මාර්ගය සරිකර ගැනීමට ප්‍රමාණවත්ද  


නොයෙකුත් වෙළද වාහන ප්‍රදේශය පුරා සැරිසැරුවත් අතමිට නොසරු බව නිසා ඒවායින් ප්‍රෙයා්ජනයක් නැත. වත්තල ප්‍රදේශයෙන් විශාල කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තා වීම නිසා වෙළෙන්දන්ගෙන් බඩු මිලදී ගැනීමටද ඇතැම් අයමැලිකමක් දක්වයි.බෝ නොවන රෝග වලින් පෙළෙන බොහෝ අයට නිසි වෛද්‍යප්‍රතිකාර නැත.මේ තත්වය මත හෙට අනිද්දා මිනිසුන් මිය යන්නේ කොවිඩ් නිසා නොව වෙනත් හේතුන් මතය.


අද සටහන කොවිඩ් නිසා ඇතිවන බලපෑම ගැන නොවේ.මෙම කොවිඩ් බලපෑමෙන් අප නිදහස් නොවීම දිනෙන් දින කල් යන්නේ කුමක් නිසාද යන කාරණයයි. වත්තල මිනිස්සුන්ගෙන් 90% ක පමණ ප්‍රමාණයක් නිරෝධායන නීති පිළිපදිමින් තමා සහ තමන්ගේ අය ආසාධිතයෙක්  වීමට ඇති ඉඩ කඩ වලක්වා ගනිමින් ජීවත්වේ.10% ක පමණ මිනිසුන් පිරිසක් ගාල කඩාගත් හරකුන් ලෙස ජීවත් වේ. 


මොවුන් බොහෝ විට මුවවැස්මක් පලදින්නේ පොලිසියට ඕනෑ නිසාය. කිසිදු අවශ්‍යතාවක් නොමැතිව පාරක් පාරක් ගානේ  සැරසරයි. තමන්තට ඕනෑම තැනක ගිය හැකි බව කියයි. තමන් ගිය ගමන් ගැන කියමින් පංපෝරිද ගසයි. පොලිසියේ ඉන්නේ ඇතැම් අයගේ බාප්පලාය. ඇතැම් විට තමන්  සතු කුමන හෝ වාහනයකින් බොහෝ විට මොටර් සයිකලයකින් හෝ ත්‍රි විලයකින් තැනින්තැන සැරි සරන්නේ පොරවල් වීමටය.ඔවුන් පොරවල් බව අනිත් අයට පෙන්වීමටය. මොවුන්ගේ අසමත්ජාති ක්‍රියාවන්ගැන ප්‍රදේශයේ ජිවත්වන වැදගත් මිනිසුන් නොවිමසන්නේ අහක යන පඩංගු ණයි රෙද්ද අස්සේ දාගන්ඩ අකැමැති නිසාය. එහෙත් මුන් කෙළවන්නේ අහිංසක මිනිස්සුන්ටය. නිරෝධායන නීති යටතේ මොවුන් මිනි මැරීමට තැත් කරන්න් නොවේද?


වත්තලින් හොර පාරවල් ඔස්සේ මහබාගේ පොලිස් වසමට පිවිසිය හැක. බොහෝ අසමත්ජාතින් මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ මත්පැන්සැල්  වලින් මත්පැන් ගෙනවිත් රාත්‍රි කාලයට තැන් තැන් වල පානය කරයි. ඔව්න්ගේ භාෂාවෙන් කියනවානම් ෂෙට් වේ.


මෙම සටහන පොලිසියේ අඩුපාඩු පෙන්වා දීමක් නොවේ. පොලිසියේ ඉන්නේද මිනිස්සුය. තම දරුවන් ලගට දරු පවුල් ලගට එතුමන්ලාද යා යුතුය.මෙම අසමත්ජාතින්ගේ ක්‍රියා වලට අහිංසක පොලිස් නිලධාරින් පළි නැත. ගම ආරක්ෂා කර ගත යුත්තේ ගමේ එවුන්ය.මොවුන්ට මෙය නොතේරෙන්නේ කුමක් හෝ අඩුපාඩුවක් නිසා විය හැක. එහෙත්ඊට අනුකම්පා  කර කර ඉන්ඩ කාලයක් නැත. මොවුන්ගේ වගකීම මොවුන්ගේ යුතුකම මොවුන් තේරුම් නොගන්නේ නම් එම අමාරුව කියන්නේ කාටද?


වගේ වගක් නැතිව කටයුතු කරන නෝනා මහත්වරු පිරිසක්ද වත්තල ඇත. කුණු ට්‍රැක්ටරයට කුණු දීමට පොරකන මොවුන් එළවළු ලොරියක් ආවත්, පළතුරු ලොරියක් ආවත්, මස් ලොරියක් ආවත් ඒවටා රොක්වෙති. දුරස්ථභාවය යනු කුමක්ද කියාවත් නොසලකති. සමහරුන්ගේ නයිටිය විනිවිද පේන එකනම් ඉවසිය හැකිය. එහෙත් මුව වැස්මක් නොමැති කම ඉවසිය නොහැක. ඒ ඔවුන් සමාජයට කොඩිවිණ වන බැවිනි. 


චූන්පාන්ද තවත් මළ මරාලයකි. පසුගිය දිනක වනවාසල ප්‍රදේශයෙන් චූන් පාන් ආසාධිතයෙකු ගැන වාර්තා වූ බවට පුවතක් දක්නට ලැබුණි. කෑම බෑගයට දමා දෙන්නේත්, මුදල් ගන්නේත් ඉතුරු සල්ලි දෙන්නේත් එකම පුද්ගලයෙකි. බොහෝ විට ඔවුන් අත් වැසුම් පළදී. මුදල් ප්‍රබල විසබීජ වාහකයෙක් වන අතර අත් වැසුම්වල වෛරස් තැන්පත්වීමේ හැකියාව අධිකය.


ඇතැම් වෙළද මහත්තුරුද නිරෝධායන නීති විවිධ ආකාර වලින් උල්ලංගණය කරන බවද දක්නට ලැබුණි. විශේෂයෙන් මාක්ස් පැළදීම හරියාකාරව සිදුවන්නේ නැත.

වත්තල ඇලකන්දපල්ලියවත්ත කැළණි ගංතෙර හරහා ඉදිකර ඇති පාලමෙන්  කොළඹ මට්ටක්කුලිය සහ මෝදර සමග යා වෙයි. දැනට කොළඹ පවතින දැඩි අවධානම් තත්වය මත වත්තල තවදුරටත් හුදකලා කර තබා ගැනීමට සිදුවනු ඇතැයි සිතමි. එය එසේද විය යුතුය. එහෙත් එයින් ඇතිවන ප්‍රතිඵලයන්ටද පිළියම් අවශ්‍යව ඇත. දැනටද හොරුන්ගේ අවධානයට ලක්ව ඇති වත්තල ඉදිරියේදි හොරුන්ගේ පාරාදීසයක් වීමටද ඉඩ ඇත. 


මෙහි සදහන් කරුණු වත්තල ගැන වුවත් ඒවා මුළු සිරිලකටම පොදු දේවල්ය. වත්තල මෙන්ම ශ්‍රී ලංකාවද අපේ මාතෘ භූමියයි. අපගේ මාතෘ භූමිය මෙම වසංගතයෙන් ඉක්මනින් මිදේවායි පතන්නේ දෙවි දේවතාවන්ට කන්නලව් කර නොව මෙම වසංගත තත්වය ගැන තීන්දු තීරණ ගන්නා නිසි බලධාරින්ට නිසි වේලාවට නිසි තීන්දු තීරණ ගැනීමට ශක්තිය ධෛර්යය සහ ඥාණය පහළ වේවායි පැතීමෙනි. නැවත හමුවෙන තුරු ආයුබෝවන්....




Sunday, 15 November 2020

කොවිඩ් තුළින් දුටු වත්තල මිනිස්සුන්ගේ මනුස්සකම

කොවිඩි රකුසා විසින් වත්තල බිලි ගත්ත. බිලි ගත්ත නොවෙයි බිලි දුන්න කිව්වොත් තමයි වඩාත් නිවැරදි.ලෝකෙමෙ තියෙන වසංගතයෙ, රටේම තිබුණ වසංගතයෙ අදුරු සෙවනැලි සුන්දර වත්තල වෙතට එබිකම් කරද්දි වත්තල බොහෝ අය ජීවත් වුණේ කොවිඩ් වලට හායි කියමින්.රටේ සිදුවන දේවල් ගැන බොහෝ අයට වගේ වගක් තිබුණෙ නැහැ.ඒක නිසා වත්තල අපි මුලින්ම ඇදිරි නීතියට අහුවුණා. ඊට පස්සේ හුදකලාවට අහුවුණා.දැන් මෙහෙම හුදකලා වෙලා ටික දවසක්. ඒක ඉතින් කියන්ඩ දෙයක්ද? රටේ හැමෝම  දන්නව වත්තල හුදකලා කියල.දැන් කොවිඩ් රෝගින්ගේ ප්‍රමාණය බිංදු හතරක අගයක් වෙන්ඩත් ලගයි. ඒත් එක සිතින් පතන්නේ එසේ නොවේවා යන්නයි. කවුරුත් දන්නව මේ වගේ වෙලාවට පත්වුණහම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල. කරුමෙට පළාත් සභා ඡන්දෙවත් ප්‍රකාශයට පත් කරල තිබුණනම් අපිටත් ටිකක් ගොඩ යන්ඩ තිබුණ.

අද කථාව වත්තලට කොවිඩ් ආව විධියවත්, ඒකට වගකිව යුතු උන්ට, දරදිය ඇද්ද උන්ට බනින එකවත් නොවෙයි.මේ වෙලාවෙ මින්ස්සුන්ගෙ පිහිටට ඉදිරිපත් වෙච්චි මිනිස්සු ගැන කියන එකයි.නිරෝධානයනට පත් වෙචිචි මිනිස්සු හිටපු ගෙවල් වලට පුළු පුළුවන් විධියට අසල් වාසින් උදව් කළා.ඒ ගෙවල්වල සුරතල් සත්තුන්ට පවා මොනව හරි දුන්න.

මේ අය ඇරිච්චම වත්තල ඉන්න සුවිශේෂ මිනිස්සු ටිකක් කරපු සත්කාර්යයන් ගැන පින්තූර ටිකක් මටත් එවල තිබුණ. මේ වෙලාවෙ ඒක විශිෂ්ඨ කාර්යයක්. පින් කියල ජාතියක් ලෝකෙ තියනවනම් පිංසිද්ධ වෙන්ඩම ඕනැ. එහෙම නැත්තම් ධර්මයේ කියන විධියට ආයු, බල, සැප,වර්ණ, ප්‍රඤ්ඥා ලැබෙන්න ඕනැ. ඒ මුකුත් නැත්නම් අපේ අවංක ස්තුතියවත් පල කරන්ඩ ඕනැ.අපේ ග්‍රාම නිලධාරි මහත්තුරු ආපදාවට පත් මිනිස්සු සුවපත් කරන්ඩ තම රාජකාරියට අමතරව විශාල සේවයක් කළා.ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මැති තුමාත් ආපදාවට පත් නිවාස වලට තමන්ගේ සහ තම හිතවතුන්ගේ උපකාරයෙන් ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් විශිෂ්ඨ සේවයක් කළ බවට ආරංචි වුණා. 

ඒ වගේම කෙරවලපිටිය පොකුණ හන්දියේ පොකුණ ජනතා එකතුවට සම්බන්ධ ෂර්වින් පෙරේරා මහත්තය ඇතුළු කණ්ඩායමත් තමන්ගේ සහ තම හිතවතුන්ගේ උපකාරයෙන් ආහාර ඇතුළත් මළු ආපදාවන්ට පත් ගම්වාසින්ට බෙදැ දීල තිබුණ. මෙම සත්කාර්යයට දායක වූවන් අතර අනුර සේනානායක් මහතා,ජස්ටින් ලාසරස් මහතා,සංජීව අබේසිංහ මහතා,චන්දන මහතා සහ ප්‍රෑන්ක් මහතා ප්‍රමුඛ ස්ථානයක් ගත් බව ෂර්වින් මහත්තය විසින් නිකුත් කළ වට්ස්ඇප් පණිවිඩයක තියනව දැක්ක. ඒක නිසා ඒ අය ගැනත් සදහන් කරන්ඩ ඕනැ. කවදත් යමක් වෙච්චහම මනුෂ්‍යකම පෙරදැරිව ඉදිරිපත් වෙන පත්මකුමාර පතිරත්න, ශ්‍යාමලි අල්විස්, රෝහිත අල්විස්, රමණි ප්‍රනාන්දු (රමණි අක්කා) අමතක කළොත් හරි නැහැ.

එදිනෙදා රැකියාවක් කරල කීයක් හරි හම්බ කරගෙන ජීවිතේ ගැටගහගෙන යන මිනිස්සු වත්තල ඕනැ තරම් ඉන්නව. මේ වගේ ඇති හැකි අය එකතු වෙලා ඒ අය වෙනුවෙන් යමක් කරන එක නැවත නැවතත් අගය කරන්ඩ ඕනෑ. මේ වෙලාවෙ මේව කරන්නෙ කුමන අරමුණකින්ද කියන එක නොවෙයි වැදගත් වෙන්නෙ. මේ සත්කාර්යයන්ගෙන් සිද්ධ වෙන යහපතයි වැදගත් 

මේක කඩේ යාමක් නොවෙයි. කළගුණ සැළකීමක් සහ වත්තල මෙහෙමත් මිනිස්සු ඉන්න බව බඩේ ගින්දර නැතුව ප්‍රකාශ කිරීමක් පමණයි. මෙවැනි සත්කාර්යයන් වත්තල වෙනත් තැන් වලත් වුණානම් දන්වන්න. ඒවත් කවදහරි කාටහරි බලන්ඩ මෙහෙම සටහන් කරල නොතිබ්බොත් හොද නැහැ.ආයු බෝවේවා නිදුක් වෙත්වා වයිරස්ගත නොවේවා,යලි හමුවෙමු.

ඉතා වැදගත්

මෙම සටහන වත්තල කෙරවලපිටිය පැත්ත ගැන පමණයි. වත්තල කියන්නෙ ඉතා විශාල ප්‍රෙද්ශයක්. මෙම සටහන කියවන අයගෙන් ඉල්ලා සිටින්නෙ ඔබේ පැත්තෙත් මෙහෙම දේවල් වුණානම් අපිට දන්වන ලෙසයි.

වත්තල අපි වෙනුවෙන් වෙහෙසෙන සියළු රාජ්‍ය නිලධාරින්ට අපේ ස්තුතිය
 BG - ලොව  සියළු සත්වයින් සුවපත් වේවා! සැමට ජය..